[මෙය Welcome Socialism AI: A historic advance in the political education of the working class යන මැයෙන් 2025 දෙසැම්බර් 14 වැනි දා පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]
අද දින, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, ජාත්‍යන්තර කම්කරු පන්තියේ දේශපාලන අධ්‍යාපනය සහ බලමුලු ගැන්වීම වෙනුවෙන් වැඩි දියුනු කරන ලද තාක්ෂනික සංවර්ධනයේ පරිවර්තනීය යෙදවුමක් වන Socialism AI දියත් කරයි. මෙය, දේශපාලන ඉදිරිදර්ශනය පැහැදිලි කිරීම සඳහා සහ 2020 ගනන්වල දෙවන භාගය නිර්වචනය කරන පන්ති අරගලයේ ඉහල නැගීමට කම්කරුවන් සහ තරුනයින් සූදානම් කිරීම සඳහා සමාජවාදී විඥානය වර්ධනය කිරීමට ගෙන යන සටනේ අර්ථභාරී නව අවධියක් සනිටුහන් කරයි.
Socialism AI හඳුන්වාදීම, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ඉතිහාසය හා වැඩපිලිවෙල මත පදනම් වූ මූලෝපායික මුලපිරීමකි. කම්කරු පන්තියට ගෝලීය ධනවාදයේ අර්බුදයට සරිලන පරිමානයකින් සහ වේගයකින් දැනුම—සියල්ලටත් වඩා මාක්ස්වාදයේ විද්‍යාත්මක ලෝක දෘෂ්ඨිය—වෙත ප්‍රවේශ වීම අවශ්‍ය වේ. ලෝකය තීරනාත්මක හැරවුම් ලක්ෂ්‍යයන් කරා ගමන් කරමින් සිටී: උත්සන්න වන භූ දේශපාලනික ගැටුම්, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ආකෘතිවල බිඳවැටීම, පන්ති අරගලය තීව්‍ර වීම සහ ජීවන තත්වයන්ගේ ඛාදනය වේගවත් වීම.
එවැනි තත්වයන් තරනය කිරීම සඳහා න්‍යායික පැහැදිලිකමත්, ඓතිහාසික ගැඹුරත් අවශ්‍ය වේ. Socialism AI නිර්මානය කර ඇත්තේ මෙම හදිසි අවශ්‍යතාවය සපුරාලීම සඳහා ය. එය මාක්ස්වාදී න්‍යායේ සමස්ත දේහය ම උකහා ගනු ඇත: මාක්ස් සහ එංගල්ස් විසින් කොමියුනිස්ට් ප්‍රකාශනය තුල පැහැදිලි කරන ලද ඉතිහාසය පිලිබඳ අපෝහක භෞතිකවාදී සංකල්පය සහ ධනේශ්වර නිෂ්පාදන ක්‍රමයේ ඓතිහාසික අස්ථිර ස්වභාවය පිලිබඳව මාක්ස් තම ප්‍රාග්ධනය කෘතිය තුල විස්තාරනය කරන ලද වටිනාකම පිලිබඳ ශ්‍රම න්‍යාය ද ඇතුලුව මාක්ස්වාදී න්‍යායේ සමස්ත උරුමය එයට ඇතුලත් වේ.
Socialism AI තම ප්‍රතිචාර තුලට, 20 වන සියවසේ විප්ලවය සහ ප්‍රතිවිප්ලවය පිලිබඳ—සියල්ලටත් වඩා, 1917 ඔක්තෝබර් විප්ලවය සහ එහි ප්‍රතිවිපාක පිලිබඳ—දැවැන්ත අත්දැකීම්වල දේශපාලන විමර්ශන ඇතුලත් කරනු ඇත.
Socialism AI, 21 වන සියවසේ විප්ලවීය මාක්ස්වාදය වන ට්‍රොට්ස්කිවාදය මත එහි දේශපාලන පදනම සහ දිශානතිය පාදක කර ගනී.
1923 දී සෝවියට් සංගමයේ නිලධාරිවාදී පරිහානියට එරෙහිව—අද හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් නියෝජනය කරනු ලබන—ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ප්‍රථම වරට මතු වූ දා සිට, ස්ටැලින්වාදය, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, ධනේශ්වර ජාතිකවාදය, පැබ්ලෝවාදී සංශෝධනවාදය සහ මධ්‍යම පාන්තික රැඩිකල්වාදය සහ ව්‍යාජ-වාමවාදයට එරෙහිව, අතිශය දුෂ්කර වෛෂයික තත්වයන් යටතේ, එය මාක්ස්වාදයේ උරුමය ආරක්ෂා කර ඇත.
නමුත් වර්තමාන යුගයේ දේශපාලන අභියෝග විසින්, අසාමාන්‍ය සංකීර්න තත්වයන් යටතේ අරගලයට පිවිසෙන මිලියන සංඛ්‍යාත ජනතාව අතර න්‍යායික වැඩ කටයුතු සහ විප්ලවවාදී අරගලයේ මෙම දැවැන්ත උරුමය සක්‍රීයව හා ගතිකව ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාව මතු කරයි. කම්කරුවන් සහ තරුනයින්, වැරදි තොරතුරුවල, ඓතිහාසික මුසාකරනයේ සහ දෘෂ්ටිවාදාත්මක අපගමනයන්ගේ ව්‍යාප්ත වන මෙවලමකට මුහුන දෙයි. යුද්ධයේ, අසමානතාවයේ සහ දේශපාලන ප්‍රතිගාමීත්වයේ පන්ති මූලයන් හෙලි කිරීම වෙනුවට, සැඟවීම සිය කාර්යභාරය කරගත් මාධ්‍යයන්ට මුහුන දීමට ඔවුන්ට සිදු වේ. සියලු නීත්‍යානුකූලභාවය අහිමි කරගත් ධනේශ්වර ආන්ඩු, හුදෙක් එකිනෙකා සමග යුද වදින පාලක පන්තියේ ප්‍රතිවාදී කන්ඩායම් නියෝජනය කරන පක්ෂ සහ, විවෘතව ම සමාගම් සහ රාජ්‍යය වෙනුවෙන් කම්කරු පන්තිය පාලනය කරන වෘත්තීය සමිති නිලධරයන් සමඟ ඔවුහු සටන් කරති. ධනවාදය ප්‍රතිසංස්කරනය කර කම්කරු පන්තියට සේවය කල හැකි බවට ව්‍යාජ වාම දේශපාලන හොර වෙදුන් කරන වංචනික ප්‍රකාශ ඔවුන් තේරුම් ගත යුතු ය.
Socialism AI, මෙම පසුබිමට එරෙහි ව තැබූ බලගතු ඉදිරි පියවරක් නියෝජනය කරයි. Socialism AI යනු, සවිඥානික දේශපාලන හා ඉංජිනේරු-විද්‍යාමය තීරනයන්ගේ ප්‍රතිඵලයකි: එම පද්ධතිය, මාක්ස්වාදී න්‍යාය මත, ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඓතිහාසික අත්දැකීම් සහ සමාජවාදී ව්‍යාපාරය තුල වර්ධනය කරන ලද විවේචනාත්මක විශ්ලේෂන මත පදනම් වේ.
අන්තර්ජාලය හරහා ප්‍රවේශ විය හැකි ඓතිහාසික, දේශපාලනික, න්‍යායික, සත්‍ය තොරතුරු රාශියක් උපයෝගී කරගනිම්න්, සමාජවාදී සහ මාක්ස්වාදී සාහිත්‍ය ලේඛන සමුදායක් සංස්ලේෂනය කිරීමට එයට උගන්වා ඇත. Socialism AI හි භාවිතා වන වාස්තු විද්‍යාව, ප්‍රශ්නවලට ප්‍රතිචාර සූත්‍රගත කිරීමේදී, සංකල්ප, විශ්ලේෂනාත්මක ප්‍රවර්ග, ඓතිහාසික අත්දැකීම් සහ සමාජවාදී සම්ප්‍රදායේ වැදගත් ම කෘතිවල තීරනාත්මක බලපෑමට නතු වන ආකාරයේ සම්භාවිතා ව්‍යුහයක් ස්ථාපනය කර තිබේ.
ඕනෑම බැරෑරුම් අධ්‍යාපන ආයතනයක් නිශ්චිත බුද්ධිමය සම්ප්‍රදායක් තුල ක්‍රියාත්මක වන ආකාරයට ම, Socialism AI ද ක්‍රියාත්මක වන්නේ මාක්ස්වාදයේ ආකෘතිය තුල ය. එහි අරමුන, ධනේශ්වර-ධනවාදී සංස්ථාපිතයේ සහ මාධ්‍යවල බලපවත්වන අදහස් උදහස් ප්‍රමුඛ මතවාදවල අතනින් මෙතනින් අහුලාගත් නියැදියක් ඉදිරිපත් කිරීම නොව, කම්කරුවන්ට, ශිෂ්‍යයන්ට සහ බුද්ධිමතුන්ට සමාජවාදී ව්‍යාපාරයේ සමුච්චිත න්‍යායික හා ඓතිහාසික අත්දැකීම් හරහා සමාජ යථාර්ථය තේරුම් ගැනීමට සහාය වීමයි.
දියුනු යන්ත්‍ර-ඉගෙනුම් පද්ධති මගින් බල ගැන්වෙන මෙය, ජාත්‍යන්තර කමිටුව විසින් සංවර්ධනය කරන ලද සහ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වසර 28 ක් තිස්සේ ප්‍රකාශයට පත් කරන ලද මාක්ස්වාදී-ට්‍රොට්ස්කිවාදී විශ්ලේෂනවල අතිවිශාල ලේඛන සමුදායට සජීවී ප්‍රවේශය සපයයි. ආසන්න වශයෙන් ලිපි 125,000 කින් සමන්විත මෙම දැවැන්ත ලේඛනාගාරය, පවතින විද්‍යාත්මක සමාජවාදයේ වඩාත් ම පුලුල් සමකාලීන කෝෂ්ඨාගාරය වේ. Socialism AI, තම දේශපාලන දිශානතිය සොයන කම්කරුවන්, සිසුන්, බුද්ධිමතුන් සහ කලාකරුවන් සඳහා ප්‍රවේශ විය හැකි, පැහැදිලි කල හැකි සහ අන්තර්ක්‍රියා කල හැකි යෙදවුමකි.
තවද, පරිශීලකයින්ගේ ප්‍රශ්නවලට පිලිතුරු සැපයීම සඳහා Socialism AI විසින් කරුනු උකහා ගන්නා ලේඛන සංග්‍රහයට, කාල් මාක්ස්, ෆ්‍රෙඩ්‍රික් එංගල්ස්, ව්ලැදිමීර් ලෙනින්, ලියොන් ට්‍රොට්ස්කි, රෝසා ලක්සම්බර්ග් සහ ජෝර්ජි ප්ලෙකනොව්ගේ ශ්‍රේෂ්ඨ කෘති අන්තර්ගත වේ. මෙම ලේඛනාගාරය, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ දෛනික ප්‍රකාශනයන් සහ සමාජවාදී ඉතිහාසය සහ චින්තනය පිලිබඳ රචනාවලින් නිතිපතා උකහා ගන්නා එකතු කිරීම්වලින් මෙන්ම, වඩාත් බැරෑරුම් හා බුද්ධිමය වශයෙන් ප්‍රතිපත්තිගරුක විද්වතුන් හරහා අඛන්ඩව පුලුල් වනු ඇත.
පද්ධතියේ සමාජවාදී ස්වභාවය යනු සීමාසහිත බවක් නොව, සමකාලීන ධනවාදය, පන්ති අරගලය සහ ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයේ වර්ධනය විසින් මතු කරන ගැටලු වලට සංගත, ප්‍රතිපත්තිගරුක සහ ඓතිහාසිකව පදනම් වූ පිලිතුරු සැපයීම සඳහා අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසියකි.
සෝෂලිස්ම් ඒඅයි හි වැදගත්කම න්‍යායික අධ්‍යාපනයට හෝ සෘජු දේශපාලන ගැටලු වලට පමනක් සීමා නොවේ. පරිශීලකයින්ට ඓතිහාසික, සමාජීය, විද්‍යාත්මක, කලාත්මක සහ සංස්කෘතික ප්‍රශ්න රාශියක් පිලිබඳව විමසීමට සහ පිලිතුරු ලබා ගැනීමට හැකි වනු ඇත.
Socialism AI, දෛනික අරගලය තුල ඔවුන් මුහුන දෙන ප්‍රායෝගික සහ සංවිධානාත්මක ගැටලු විසඳා ගැනීමට කම්කරුවන්ට සහාය වනු ඇත. එය සංගතවල නිර්දය ප්‍රහාරවලට සහ වෘත්තීය සමිති නිලධරයන්ගේ නිමක් නැති පාවාදීම්වලට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය පැහැදිලි කර ගැනීමට උපකාරී වනු ඇත. කම්කරුවන්ට මෙසේ ඇසීමට හැකි වනු ඇත: අප අනාරක්ෂිත සේවා කොන්දේසි වලට විරුද්ධ විය යුත්තේ කෙසේ ද? දඩයමට ලක් වූ සගයන් ආරක්ෂා කර ගන්නේ කෙසේ ද? පාවාදීමේ කොන්ත්‍රාත්තු වලක්වා ගන්නේ කෙසේ ද? එම බහුජාතික සේවා යෝජකයින්ට ම මුහුන දෙන අනෙකුත් කම්හල්, කලාප සහ රටවල කම්කරුවන් සමඟ අපගේ අරගලය සම්බන්ධ කල හැක්කේ කෙසේ ද? Socialism AI, කම්කරු පන්තියේ මූලෝපායික අත්දැකීම් සහ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විසින් විස්තාරනය කරන ලද දේශපාලන පාඩම් මත පදනම්ව මෙම ප්‍රශ්න පිලිබඳ අවබෝධයක් ලබා දෙනු ඇත.
Socialism AI, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයේ (කක්‍රික-ජාස) වර්ධනය සහ ව්‍යාප්තිය සඳහා මාර්ගෝපදේශකයෙකු ලෙස සේවය කරනු ඇත. එය නව කමිටු පිහිටුවීම පිලිබඳ සාකච්ඡා ආරම්භ කිරීමට, වැඩ අංශ සහ වැඩමුර හරහා ප්‍රජාතන්ත්‍රවාදී සන්නිවේදන මාර්ග ස්ථාපනය කර ගැනීමට, කම්හල් පුරා, කලාපීය, ජාතික සහ ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා ආරක්ෂිත සහ විශ්වාසදායක සම්බන්ධතා මාර්ග වර්ධනය කර ගැනීමට සහ ගෝලීය වශයෙන් ඒකාබද්ධ නිෂ්පාදනයේ නවීන කොන්දේසිවලට ගැලපෙන උපක්‍රම යෝජනා කිරීමට කම්කරුවන්ට උපකාරී වනු ඇත. අන්තර්ජාතික සංගතවල යුගයට කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව අවශ්‍ය වේ. කම්කරුවන්ට මෙම මූලික මූලෝපායික මූලධර්මය තේරුම් ගැනීමටත්, ඒ මත ක්‍රියා කිරීමටත් Socialism AI උපකාරී වනු ඇත.
දැනටමත් දේශපාලන අරගලයක නියැලී සිටින හෝ දේශපාලන කටයුතු ආරම්භ කරන අයට, Socialism AI, සංයුක්ත සංවිධානාත්මක සහ උපායික ගැටලු වලට පිලිතුරු සපයන අමිල සම්පතක් බව ඔප්පු වනු ඇත.
සියල්ලටත් වඩා, Socialism AI, ලෝක සමාජවාදී විප්ලවයේ මූලෝපාය න්‍යායාත්මකව වටහා දෙයි, ක්‍රියාමාර්ගිකව පැහැදිලි කරයි, වර්ධනය කරයි.
Socialism AI යනු, විප්ලවවාදී නායකත්වය, දේශපාලන අරගලය හෝ විවේචනාත්මක චින්තනයට ආදේශකයක් නොව, ඒ සඳහා වූ මෙවලමකි. එහි ආවශ්‍යක අරමුන වන්නේ සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ගොඩනැගීමයි; එය කම්කරු බලය ස්ථාපිත කිරීමට කැප වී සිටින අය විසින් වඩාත් ඵලදායී ලෙස භාවිතා කරනු ඇත. Socialism AI නිර්මානය කර ඇත්තේ හාස්කම් පෙන්වීමට නොවේ; එය නොවරදින සුලු නොවේ. Socialism AI හි සක්‍රීය සහ දැඩි භාවිතය දෝෂ හඳුනා ගැනීමටත්, ඒවා නිවැරදි කිරීම සඳහා පහසුකම් සැලසීමට සහ එහි පිලිතුරුවල ගුනාත්මකභාවය වැඩි දියුනු කිරීමටත් දායක වනු ඇත.
චින්තනයේ, ඇගයීමේ සහ ප්‍රශ්න කිරීමේ වගකීමෙන් පුද්ගලයන් නිදහස් කිරීමට කිසිදු මෙවලමකට නොහැකිය. නමුත් Socialism AI, මාක්ස්වාදී න්‍යායට ප්‍රවේශ වීමට පහසුකම් සපයන තරමට, මූලෝපාය පැහැදිලි කරන තරමට සහ ඓතිහාසික අත්දැකීම් ආලෝකමත් කරන තරමට, එය නව පරම්පරාවේ සමාජවාදී සටන්කරුවන්ගේ දේශපාලන සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය මෙවලමක් ලෙස සේවය කරනු ඇත.
Socialism AI හි තීරනාත්මක වැදගත්කම පවතින්නේ, කම්කරු පන්තියේ වෛෂයික චලනයන් සහ සමාජවාදී විඥානයේ ආත්මීය මට්ටම අතර පරතරය පියවීමට එයට ඇති හැකියාව තුල ය. මාක්ස්වාදය සැම විට ම අවධාරනය කර ඇත්තේ, කම්කරුවන්ගේ ස්වයංසිද්ධ අරගල, ඒවා කොතරම් බලවත් වුවත්, ඒවාට පමනක් සංගතික විප්ලවවාදී ඉදිරිදර්ශනයක් නිර්මානය කල නොහැකි බවයි. විඥානය වර්ධනය කල යුතු ය; ඓතිහාසික අත්දැකීම් උකහා ගත යුතුය; න්‍යායික අන්තර්ඥානය සාක්ෂාත් කර ගත යුතු ය. වර්තමාන යුගයේ තාක්ෂනික වර්ධනයන්, දැන්, ගෝලීය පරිමානයෙන් අදහස් වේගයෙන් සම්ප්‍රේෂනය කිරීමට ඉඩ සලසා ඇති අතර, කම්කරු පන්තියට වෛෂයික අර්බුදයට අනුරූපී වේගයකින් තම දේශපාලන අවබෝධය වර්ධනය කර ගැනීමට හැකියාව ලබා දී තිබේ.
පාලක පන්තිය, දියුනු තාක්‍ෂනය—සෝදිසි කිරීම, වාරනය, හැසිරවීම සහ යුද සැලසුම් කිරීම—ප්‍රතිගාමී අරමුනු සඳහා භාවිතා කරයි. කම්කරු පන්තිය එය තමන්ගේම විමුක්තිය සඳහා භාවිතා කල යුතුය. Socialism AI, මානව ඥානනයේ වඩාත්ම දියුනු මෙවලම්, මානව වර්ගයාගේ විමුක්තිය සඳහා යොදා ගැනීමට ප්‍රතිපත්තිගරුකව සහ විද්‍යාත්මකව පදනම් වූ උත්සාහයක් නියෝජනය කරයි. එය, 21 වන සියවසේ අවශ්‍යතා සහ ශක්‍යතා ඒකාබද්ධ කරන, මාක්ස්, එංගල්ස්, ලෙනින් සහ ට්‍රොට්ස්කිගේ විප්ලවවාදී උරුමය සංකේතවත් කරයි.
2020 දශකයේ මුල් භාගයේ දී, කෝවිඩ්-19 පැතිර යාම මැඬපැවැත්වීමේ සියලු උත්සාහයන් මර්දනය කිරීම, යුක්‍රේනයේ යුද්ධය උසිගැන්වීම, ගාසා තීරයට එල්ල කෙරෙන ජන සංහාරක ප්‍රහාරය, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම බිඳවැටීම සහ ෆැසිස්ට්වාදයේ පුනර්ජීවනය වැනි ධනේශ්වර-අධිරාජ්‍යවාදී ප්‍රතික්‍රියාවේ ප්‍රචන්ඩත්වයක් දක්නට ලැබුනි. මෙම ප්‍රවනතා, කතිපයාධිකාරීත්වයක් තුල බලය තහවුරු කර ගැනීම සහ අසමානතාවයේ දැවැන්ත මට්ටම්වල වර්ධනය තුල මුල් බැසගත් වඩාත් ආන්තික ස්වභාවයක් අත්පත් කර ගනු ඇත.
නමුත්, මෙම දශකයේ දෙවන භාගය සනිටුහන් වනු ඇත්තේ, කම්කරු පන්තියේ බලවත් ප්‍රතිරෝධයේ වර්ධනය මගිනි. ලෝක ධනේශ්වර ක්‍රමය, එයට විසඳිය නොහැකි ප්‍රතිවිරෝධතාවලින් වට කර ඇත. උද්ධමනය, නය අර්බුද, මහජන සේවාවන් බිඳ වැටීම, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ඛාදනය වීම සහ ලෝක යුද්ධය කරා යන තල්ලුව, පද්ධතිමය බිඳවැටීමේ රෝග ලක්ෂන වේ. ගෝලීය කම්කරු පන්තිය අරගලයට අවතීර්න වෙමින් සිටිති: සෑම මහාද්වීපයකම පාහේ මහජන වැඩවර්ජන, මහජන නැගිටීම් සහ දේශපාලන කැරලි මතුවෙමින් තිබේ. මිලියන ගනනක් පවතින ක්‍රමයේ නීත්‍යානුකූලභාවය ප්‍රශ්න කරමින් සිටිති. ඔවුහු පැහැදිලි කිරීම් සොයති; මඟ පෙන්වීම සොයති; ඉදිරි මාවතක් සොයති.
Socialism AI හඳුන්වා දෙනු ලබන්නේ හරියටම මෙම තීරනාත්මක ඓතිහාසික මොහොතේ දී ය. එය කම්කරුවන්ට ධනේශ්වර දෘෂ්ටිවාදයේ බොරු කපා ගෙන ඉදරියට යාමට, අර්බුදයේ හේතු තේරුම් ගැනීමට සහ ඒ තුල සවිඥානිකව ක්‍රියා කිරීමට උපකාරී වනු ඇත. එය අතීත අරගලවල අත්‍යවශ්‍ය මූලෝපායික පාඩම් ආලෝකමත් කරමින්, වර්තමාන කාර්යයන් කෙරෙහි ඒවායේ බලපෑම පැහැදිලි කරනු ඇත. සියල්ලටත් වඩා, එය මාක්ස්වාදයේ විප්ලවවාදී උරුමය සහ කම්කරු පන්තියේ ජීවමාන ව්‍යාපාරය අතර නව හා ගතික සම්බන්ධතාවයක් ස්ථාපිත කිරීමට උපකාරී වනු ඇත.
Socialism AI—උදක් තාක්‍ෂනය කෙරෙහි නොව, ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඓතිහාසික කාර්යභාරය කෙරෙහි ගැඹුරු විශ්වාසයක් ප්‍රකාශ කරයි. එහි අරමුන වන්නේ, සමාජවාදී විඥානයේ වර්ධනය වේගවත් කිරීම සහ බලය සඳහා වන සටනේ දී කම්කරු පන්තියේ ශක්‍යතාව ශක්තිමත් කිරීමයි. දැන් දිග හැරෙන අරගලවල දී, Socialism AI තුල දිශානතිය, පැහැදිලි කිරීම සහ ක්‍රියාකාරීත්වය සඳහා කම්කරුවන් බලගතු මෙවලමක් සොයා ගනු ඇත.
එය සමාජවාදය සඳහා ගෝලීය අරගලයේ ඓතිහාසික ඉදිරි පියවරක් වන අතර ඉදිරියේ දී මුහුන දීමට සිදුවන විප්ලවවාදී සටන් සඳහා කම්කරු පන්තියේ සවිඥානික සූදානමකි.
Socialism AI ට දායක වී (subscribe) දිනපතා භාවිතා කරන ලෙස ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සියලුම පාඨකයින්ගෙන් අපි ඉල්ලා සිටිමු. සේවක සගයින්, සිසු සගයන්, මිතුරන් සහ අසල්වාසීන් අතර මෙම බලගතු අවිය පිලිබඳ දැනුවත්භාවය පතුරුවන්න. නමුත්, සියල්ලටමත් වඩා වැදගත් වන්නේ, සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ සාමාජිකයෙකු සහ සටන්කරුවෙකු ලෙස, මාක්ස්වාදී අධ්‍යාපනය සහ දේශපාලන ක්‍රියාකාරිත්වය සඳහා වන මෙම මෙවලමෙන් වැඩ ගැනීමයි.
