සසප, දිගු කාලීන ට්‍රොට්ස්කිවාදී සටන් සගයන් දෙදෙනෙකුට අවසන් ගෞරව දක්වයි

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) දිගුකාලීන ට්‍රොට්ස්කිවාදී සටන්කාමීන් දෙදෙනෙකු වූ ලීලාවතී බාලසූරිය සහ ආර්.එම්.ගුනතිලක, දෙසැම්බර් 13 වැනි දා අභාවප්‍රාප්ත වූ අතර ඔවුනගේ අවමංගල්‍යයන් පිලිවෙලින් 14 සහ 15 යන දිනයන්හි පැවැත්විනි.

පහත පල වන්නේ, එම අවමංගල්‍යයන්හි දී, ඔවුනගේ විප්ලවවාදී ජීවිත අගය කරමින් සසප නායකයින් විසින් පවත්වන ලද කතා ඇතුලත් වාර්තාවකි.

ලීලාවතී බාලසූරිය (1948-2025)

1948 දී ඉපැදුනු ලීලාවතී බාලසූරිය, වයස අවුරුදු 77 දී අභාවප්‍රාප්ත වූවා ය. ඇය 1974 දී සසප පූර්වගාමී ව්‍යාපාරය වන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස)ට සම්බන්ධ වූ අතර එතැන් සිට ඇගේ ඛේදජනක මරනය දක්වා වසර 50 ක් පමන තම ජීවිතය ට්‍රොට්ස්කිවාදය වෙනුවෙන් කැප කලා ය. අධි රුධිර පීඩනය හේතුවෙන් මොලයේ ඇති වූ හදිසි සංකූලතාවයක ප්‍රතිඵලයක් ලෙස, ඇය මාස තුනක් ඇඳේ වැතිර සිටි අතර එමඟින් ඇයට පක්ෂ කටයුතුවල නිරත වීමට නොහැකි විය.

ලීලා සහෝදරියගේ දේහය

කොලඹ සිට කිලෝමීටර් 30 ක් පමන දුරින් පිහිටි දොම්පේ පැල්පිටතේ සුසාන භූමියේ දී දෙසැම්බර් 14 වන දින පැවති ඇගේ අවමංගල්‍යයට පවුලේ සාමාජිකයෝ, පක්ෂ සහෝදරවරු, අසල්වැසියෝ සහ මිතුරෝ සහභාගී වූහ.

තම පක්ෂ සහෝදරවරුන් විසින් ලීලා ලෙස හඳුන්වනු ලැබූ බාලසූරිය, 1974 දී විකොස ට සම්බන්ධ වන විට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලිපිකාරිනියක ලෙස සේවය කල අතර, ඇය ශ්‍රී ලංකාවේ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය (ශ්‍රීලකොප) විසින් නායකත්වය දුන් එවකට ප්‍රමුඛ රාජ්‍ය අංශයේ වෘත්තීය සමිතියක් වූ සමස්ත ලංකා රජයේ ලිපිකරු සේවක සංගමයේ සාමාජිකාවක් වූවා ය.

අවමංගල්‍ය උත්සවයේ දී, ඇයගේ නොසැලෙන සටන්කාමීත්වයට උපහාර දක්වමින්, සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර, ඇය පක්ෂයට සම්බන්ධ වූ කාලයේ දේශපාලන වාතාවරනය පැහැදිලි කලේය. “එම කාලය තුල [1974], ගෝලීය ආර්ථිකය ‘තෙල් කම්පනය’ ලෙස හැඳින්වෙන ප්‍රධාන අර්බුදයකට මුහුන දෙමින් සිටියා, විශේෂයෙන් ලෝකයේ තෙල් අපනයනය කරන රටවල් තෙල් මිල හතර ගුනයකින් වැඩි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස.”

සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර අවමංගල්‍ය සභාව අමතමින්

“ඉන්පසු රට පාලනය කරනු ලැබුවේ අගමැතිනි සිරිමාවෝ බන්ඩාරනායක ගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප), පැබ්ලෝවාදී ලංකා සම සමාජ පක්ෂය (ලසසප) සහ ශ්‍රී ලංකාවේ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය (ශ්‍රීලකොප) යන පක්ෂවලින් සමන්විත දෙවන ධනේශ්වර සභාග ආන්ඩුව (1970–1977) විසින්.”

‘තෙල් කම්පනය’ට සභාග ආන්ඩුවේ ප්‍රතිචාරය පැහැදිලි කරමින් ජයසේකර මෙසේ පැවසීය, “තෙල් කම්පනයෙන්, ශ්‍රී ලංකාවේ ධනේශ්වර ආර්ථිකය මුහුන දුන් අර්බුදය වඩාත් උග්‍ර හා තීව්‍ර වුනා. ලොව පුරා අනෙකුත් ධනේශ්වර ආන්ඩු මෙන්, ශ්‍රී ලංකාවේ සභාග ආන්ඩුව ද එම අර්බුදයේ බර කම්කරු පන්තියේ, තරුනයින්ගේ සහ ග්‍රාමීය දුප්පතුන්ගේ, කර මතට පැටෙවුවා.

“ඒ කාලේ බඩු මිල තියුනු ලෙස ඉහල ගිය වෙලාවේ සහල් වගේ අත්‍යවශ්‍ය භාන්ඩ හිඟ වෙලා සලාකයට දෙන්න පටන් ගත්තා. ඒ තත්ත්වය යටතේ, කම්කරුවන්, තරුනයින් සහ ග්‍රාමීය දුප්පතුන් ඇතුලු මහජනතාව අතර ආන්ඩුව කෙරෙහි සැලකිය යුතු විරෝධයක් සහ වෛරයක් වර්ධනය වෙමින් තිබුනා.”

“එසේම, ඒ වන විට, 1971 දී ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් නායකත්වය දුන් ග්‍රාමීය තරුනයින් මත පදනම් වූ කැරැල්ල, සභාග ආන්ඩුව විසින් ලේ වැගිරීමකින් මර්දනය කර, තරුනයින් විසි දහසකට ආසන්න සංඛ්‍යාවක් මරා දමා, සිය ගනනක් සිරගත කරමින්, දැවැන්ත මර්දනයක් මුදා හැර තිබුනා.”

“එම තත්ත්වය යටතේ, අපේ පක්ෂය වන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය, කම්කරු පන්තිය අතර ආන්ඩුවේ මර්දනය සහ පීඩනයට එරෙහි ව බලගතු විරෝධතාවක් දියත් කලා. විකොස, ජවිපෙ සමඟ තිබූ නොබිඳිය හැකි දේශපාලන වෙනස්කම් නොතකා සිරගත කල සියලු දෙනා නිදහස් කරන ලෙස ඉල්ලා සිටියා.”

“එම කාලය තුල, විශේෂයෙන් කම්කරුවන් සහ තරුනයින් අතර, සිතන මතන කන්ඩායම් අතර දේශපාලන රැඩිකලීකරනයක් පැවතුනා. ආන්ඩුව තමන්ට එල්ල කරන ප්‍රහාරවලට එරෙහිව සටන් කරන්නේ කෙසේද සහ ඔවුන් පදනම් විය යුතු දේශපාලන ඉදිරිදර්ශනය කුමක්ද යන්න සෙවීමට පටන් ගත්තා.”

එම දේශපාලන මාවත සොයමින් සිටි කම්කරුවන් සහ තරුනයින් අතර ලීලා සහෝදරිය විකොස හඳුනා ගත් බව ජයසේකර පැවසී ය. විකොස හි දේශපාලන ඉදිරිදර්ශනය සහ ක්‍රියමාර්ගය වූයේ ධනේශ්වර පන්තියේ සියලු ම පක්ෂවලට එරෙහිව කම්කරු පන්තිය ස්වාධීනව දේශපාලනිකව බලමුලු ගැන්වීම, කම්කරු පන්තිය වටා අනෙකුත් පීඩිත ජනතාව බලමුලු ගැන්වීම, ධනේශ්වර පන්ති පාලනය පෙරලා දමා කම්කරු-ගොවි ආන්ඩුවක් ස්ථාපිත කිරීම සහ සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා සටන් කිරීම බව ඔහු තවදුරටත් පැවසීය.

කම්කරු පන්තිය තුල ඇයගේ අරගලය පැහැදිලි කරමින් ජයසේකර මෙසේ පැවසී ය: “අපේ පක්ෂයේ දේශපාලන ක්‍රියාමාර්ගය කම්කරුවන්ට සහ තරුනයින්ට දැනුවත් කිරීමට සහ පැහැදිලි කිරීමට අප භාවිතා කල ප්‍රධාන මාධ්‍ය වූ කම්කරු මාවත සහ තොලිලාලර් පාදෛ පුවත්පත් බෙදා හරිමින් ඇගේ කාර්යාල සේවකයින් අතර ලීලා සහෝදරිය දේශපාලනික ව මැදිහත් වුනා.”

“ඇය විකොස මූලධර්ම වලින් කිසිදා බැහැර නොවූ බවත්, එය ඇගේ වැදගත්කම බවත්” ඔහු පැවසුවේ ය. “ඇය තම ගමේ කම්කරුවන්, තරුනයින් සහ දුප්පතුන් සමඟ විකොස වැඩපිලිවෙල සාකච්ඡා කල අතර පක්ෂය සමඟ සාකච්ඡා සඳහා ඔවුන් යොමු කලා. අපේ පක්ෂ රැස්වීම්වලට ගමේ කන්ඩායම් කිහිපයක් සහභාගි කලා. මෙහි ද ඔවුන් සිටිය හැකියි.”

“ලීලා, තමා සාමාජිකාවක් වූ වෘත්තීය සමිති රැස්වීම්වල දී ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂවල ද්‍රෝහී ප්‍රතිපත්ති වලට එරෙහිව සටන් කලා.  කම්කරු අරගල පාවාදීම්වලට එරෙහිව සමිති නායකයන්ට අභියෝග කලා.”

“1977 දී එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව බලයට පත්වීමෙන් පසු, 1980 දී කම්කරු පන්තියේ මහා වැඩ වර්ජනයක් ඇති වුනා. වැඩ වර්ජනයට සහභාගි වූ ලීලා, වර්ජනය කරපු කම්කරුවන්ගේ රැස්වීම් තුලදී වෘත්තීය සමිති නායකයන්ට අභියෝග කරමින් කම්කරු පන්තිය ස්වාධීනව බලු මුලුගැන්වීමට සටන් කලා, ආන්ඩුව රාජ්‍ය සේවකයින් 100,000 ක් සේවයෙන් පහ කල විට ඇයට රැකියාව අහිමි වුනා.”

“මහ වැඩ වර්ජනය හේතුවෙන් රැකියා අහිමි වූ ඇගේ අනෙකුත් සගයන් මෙන් ඇයට ද බොහෝ ආර්ථික දුෂ්කරතාවන්ට මුහුන දීමට සිදු වූ නමුත්, ඇය කිසි විටෙකත් පක්ෂය ගොඩනැගීම සඳහා වූ ඇගේ අරගලයෙන් පසුබැස ගියේ නෑ.”

“ඇයට පුදකරන්න පුලුවන් ලොකුම උපහාරය තමයි ඇය තරුන කාලෙ ඉඳලා අවසානය තෙක් සටන් වැදුනු ඒ සමාජවාදී ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලට නායකත්වය දෙන කම්කරු පන්තියේ මහජන විප්ලවාදී පක්ෂය හැටියට සමාජවාදී සමානතා පක්ෂය  ගොඩනගන්න කැපවෙන එක. ලීලා බාලසූරිය සහෝදරිය පිලිබඳ මතකය දිගු කල් දිනේවා!”

ආර්.එම්.ගුනතිලක (1938-2025)

සසප දිගුකාලීන සාමාජිකයෙකු වූ ආර්.එම්.ගුනතිලක, දෙවසරක පමන කාලයක් රෝගාතුරව සිට පසුගිය 13 වන සෙනසුරාදා මිය ගිය අතර ඔහුගේ අවමංගල්‍යය, 15 වන සඳුදා, බදුල්ල, හාලිඇල පිහිටි ඔහුගේ නිවසේ පැවැත්වින. 

සසප සාමාජිකයන් ගුනතිලක සහෝදරයාගේ දේහයට අවසන් ගෞරව දක්වමින්

1938 දී, බදුල්ල, හාලිඇල ගම්බද ගොවි පවුලක ඉපැදුනු ගුනතිලක, 1965 දී, ලංකා ගමනාගමන මන්ඩලයේ (ලංගම) කම්කරුවෙකු ලෙස සේවයට බැඳුනු අතර, 1969 වසරේ දී  සසප පුරෝගාමි ව්‍යාපාරය වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) සමග සබඳතා ඇතිකර ගත්තේ ය. 

ට්‍රොට්ස්කිවාදී යැයි කියාගත් ලංකා සමසමාජ පක්ෂය (ලසසප), කම්කරු පංතියේ පංති ස්වාධීනත්වය, කමිකරු පංතික ජාත්‍යන්තරවාදය සහ නොනවතින විප්ලවවාදී න්‍යාය ඇතුලු ට්‍රොට්ස්කිවාදී මූලධර්ම සියල්ල පාවාදෙමින් 1964 දී, ධනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධාන ගතවීමේ ඓතිහාසික සහ ජාත්‍යන්තර මූලයන් ද, එම පාවා දීමට එරෙහි ව සටන් වැදුනු තරුන කන්ඩායමක් විසින්, හජාජක හි මග පෙන්වීම යටතේ, 1968 ජූනි මාසයේ විකොස පිහිටුවීමේ සන්තතිය ද ඔහු හැදෑරීය. 

ගුනතිලක, 1970 දී විකොස හි සාමාජිකත්වය ලබා ගත්තේය. එතැන් පටන් ඔහු මිය යන තෙක් ම මාක්ස්වාදී ව්‍යාපාරයේ ඓතිහාසික ඥානයෙන් සන්නද්ධ වෙමින්  ජාත්‍යන්තරවාදී සමාජවාදී ඉදිරි දර්ශනය හා වැඩපිලිවෙලට සටන් කලේ, අද දවසේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වර්ධනය කිරීමටත් එය ආරක්ෂා කිරීමටත් ය. 

මෙම අරගලය ගෙන යාමේ දී රාජ්‍ය දඩයම්වලට, මැර තර්ජනවලට,වෘත්තිය සමිති නිලධරයේ ද්‍රෝහිත්වයන්ට මුහුන දෙන්නට පමනක් නොව, අතිශය දුෂ්කර ආර්ථික කොන්දේසිවලට මුහුන දෙන්නට ද ඔහුට සිදු විය. 1980 මහ වැඩවර්ජනයට සහභාගි වූ ගුනතිලකට  රැකියාව අහිමි වූ අතර එය නැවත හිමි වූයේ 1994 දී ය. ඒ සියල්ල නොතකා ඔහු, කම්කරු පංතියේ පංති ස්වාධීනත්වය සහ ජාත්‍යන්තරවාදය සඳහා සටන් කලේ ය.

ගුනතිලක ගේ විප්ලවවාදී ජීවිතයට ගෞරව දැක්වීම සදහා ඔහුගේ සහෝදර සසප සාමාජිකයන්, පක්ෂයේ හිතවතුන් සහ නෑ හිතමිතුරන් සියයකට අධික පිරිසක් අවමංගල්‍යයට සහභාගි වී සිටියහ. සසප සාමාජිකයෝ, ගුනතිලක සහෝදරයාගේ 85වන ජන්ම දිනය සමරමින් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කරන ලද ‘සසප ආර්.එම්. ගුනතිලක සහෝදරයාගේ 85 වන ජන්ම දිනය  සමරයි’ යන ලිපියේ පිටපත් ඔවුන් අතර බෙදා හලහ.

එය කිය වූ වඩා හිතන මතන කීප දෙනෙකු ගුනතිලක සහ ඔහු සටන් වැදුනු ට්‍රොට්ස්කිවාදී මූලධර්ම අගය කලේ ය. විශ්‍රාමික ගුරුවරයෙකු කියා සිටියේ, ‘මේවා නව පරම්පරාවන් වෙත ගෙන යා යුතු’ බවයි. 

අවමංගල සභාව ඇමතූ සසප දේශපාලන කමිටු සාමාජික පානි විජේසිරිවර්ධන, ගුනතිලකගේ වියොවින් සංවේගයට පත් ව සිටින ඔහුගේ බිරිඳ, දරුවන් තිදෙනා, ඔවුනගේ අඹු සැමියන් සහ මුනුපුරු-මිනිපිරියන් ඇතුලු පවුලේ සැමට, සසප වෙනුවෙන් තම ශෝකය පල කලේ ය.

අවමංගල සභාව අමතන සසප දේශපාලන කමිටු සාමාජික පානි විජේසිරිවර්ධන

“ගුනතිලක වැනි කම්කරු පන්තික විප්ලවවාදියෙකුගේ ජීවිතය ගැන කතා කරනකොට ඔහුගේ ජීවිතයේ වැදගත් මංසලකුනු කීපයක් ගෙනහැර දැක්වීම අත්‍යවශ්‍යයි. දුගී ගොවි පවුලක ඉපදුනු ඔහු කුඩා කාලයේ ගතකලේ දුෂ්කර ජීවිතයක්. ඒ ජීවිතය තුල තම චින්තනයට නිතර පැමිනි ප්‍රශ්නයක් ගැන ඔහු අපිට සඳහන් කලා: සමාජයේ අතලොස්සක් සුඛ විහරනය කරන අතරෙ බහුතරයක් දුක්ඛ වේදනාවන්ට ලක්වෙන්නේ ඇයි?”

“ඔහු ඒ ප්‍රශ්නෙට විද්‍යාත්මක පිලිතුරු සොයා ගත්තෙ, 1969 දී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය මුන ගැසීමෙන් පස්සෙ. විශේෂයෙන් ම එවකට එහි ප්‍රධාන ලේකම් ව සිටි කීර්ති බාලසූරිය සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමින් මාක්ස්වාදය සහ ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය පිලිබඳව, ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට ඔහුට හැකි වුනා.”

“ධනවාදය පෙරලා දැමීමට සමත් විප්ලවවාදී සමාජ බලවේගය ජාත්‍යන්තර කම්කරු පංතිය බවත්, ලංකාව වැනි ධනපති විප්ලවය කල් පමා වූ රටක පීඩිත ගොවි ජනතාවගේ සහ පීඩිත ජාතීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කල හැක්කේ කම්කරු පංතියට පමනක් බවත් එම සාකච්ඡාවල දී ගුනතිලක වටහා ගත්තා. ඒ අනුව, ජාත්‍යන්තර සමාජවාදි පිලිවෙත් ක්‍රියාවට නංවන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමට විකොස ගෙනගිය අරගලයට ඔහු මුලුමනින්ම කැපවුනා.”

“1964 ලසසප පාවා දීමෙන් ඇති වූ රික්තය තුල ගම්බද තරුනයන් මත පාදක ව ගොඩනැගුනු ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), මාඕවාදයේ, කැස්ත්‍රෝවාදයේ, ගරිල්ලාවාදයේ සහ සිංහල ජනතාවාදයේ මිශ්‍රනයක් මත පාදක වූ සුලු ධනේශ්වර ව්‍යාපාරයක් බව විශ්ලේෂනය කරමින්, “ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය සහ පංති ස්වභාවය” නමින්, විකොස පුවත්පත වන “කම්කරු පුවත් වලට 1970 මුල දී කිර්ති බාලසූරිය ලියූ ලිපි මාලාව ගුනතිලක ගැඹුරින්ම හැදෑරුවා.”

“1971 ජවිපෙ කැරැල්ලේ දී, අගමැතිනි සිරිමා බන්ඩාරනායකගෙ සභාග ආන්ඩුව තරුනයන් දහස් ගනනක් මරා දමා, ජවිපෙ නායක රෝහන විජේවීර ඇතුලු තවත් සිය ගනනක් සිරගත කල තතු යටතේ, එම දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා විකොස ගෙනගිය අරගලයේදී ඔහු සැලකිය යුතු කාර්යභාරයක් ඉටුකලා.” 

“කෙසේ නමුත්, 1988-89 සමයේ ජවිපෙ, “මව්බිම බේරා ගැනීම” යටතේ කම්කරු පංතියට එරෙහිව දියත් කල ෆැසිස්ට් ප්‍රහාරයන්ට විරුද්ධ ව විකොස ගෙන ගිය අරගලයේ දී, ගුනතිලකගේ සටන් සගයෙකු වූ වැලිමඩ හඟුන්නාවේ පිටවෙල සහෝදරයා ඇතුලු විකොස සාමාජිකයන් තුන්දෙනෙක් මරා දමනු ලැබුවා.”

“අද, ජවිපෙ/ජාජබ ආන්ඩුව, ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ සහ මහ ධනපතියන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කම්කරු-පීඩිත මහජනතාවගේ සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් වලට රුදුරු ම ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.”

“ගුනතිලකගේ විප්ලවවාදී ජීවිතයේ වැදගත්ම කාර්යයක් වන්නේ, ගම්බද පලාතක ජීවත් වෙමින්, වර්ගවාදී යුද්ධයට එරෙහි ව විකොස ගෙනගිය සප්‍රතිපත්තික අරගලයට ඔහුගේ කැපවීමයි. කොලඹ පාලක පංතිය ගෙන ගිය වර්ගවාදී යුද්ධයටත්, එල්ටීටීඊ බෙදුම්වාදයටත් එරෙහි ව ඔහු සිංහල සහ දෙමල කතා කරන කම්කරු පංතියේ එකමුතුවෙන්, ලෝක සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස, ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක ස්වරූපයෙන් කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමේ විකොස වැඩපිලිවෙලට කම්කරුවන් අතර සටන් වැදුනා.”

“1970 පිහිට වූ ශ්‍රීලනිප-ලසසප-කොප සභාග ආන්ඩුවෙන් කැඩෙන ලෙස ලසසප ට සහ කොප ට බල කරමින්, කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට විකොස ගෙනගිය අරගලයේදී ඔහු මූලික ක්‍රියාකලාපයක් ඉටු කලා.” 

“ට්‍රොට්ස්කිවාදී විප්ලවවාදියෙකු ලෙස බදුල්ල ප්‍රදේශයේ වතු කම්කරුවන් සහ අනෙකුත් පීඩිත කොටස් අතර කීර්තියක් දිනා සිටි ගුනතිලක, 1994 පාර්ලිමේන්තු මැතිවරනයේ දී සසප බදුල්ල දිස්ත්‍රික් කන්ඩායමේ නායකත්වය ද දැරුවා.”

“අවසාන වශයෙන් ගුනතිලක ඔහුගේ 85 වන ජන්මදින අනුස්මරන උත්සවයේ දී තම කතාව අවසන් කරමින් කියා සිටි දෙයින් මගේ කතාව අවසන් කිරිමට මට ඉඩ දෙන්න. ‘මම තරුනයන්ට උපදෙස් දෙනවා කරුනාකර මාක්ස්වාදී න්‍යාය, පක්ෂය ගෙනගිය අතීත අරගල සහ 20 වන සියවසේ විවේචනාත්මක පාඩම් අධ්‍යයනය කරන්න. ‘නොනිමි විසි වන සියවස’ හා රුසියානු විප්ලවය හැදෑරිය යුත්තේ මන්ද’ යන කෘති අධ්‍යයනය කරන්න.’”

“ගුනතිලකගේ ඉල්ලීම ඉටු කිරීමේ ලා කම්කරුවන්ට සහ තරුනයන්ට ඉතා වැදගත් මෙවලමක් වන  Socialism AI, ඔහු මිය යාමට දින දෙකකට පෙර හජාජක විසින් පසුගිය 12 දා දියත් කරනු ලැබුවා. මම කම්කරුවන්ගෙන් සහ තරුනයන්ගෙන් ඉල්ලා සිටිනවා, එය භාවිතා කරමින් මෙම දැනුවත්භාවය අත්කර ගන්න. ලෝක සමාජවාදී විප්ලවයේ පක්ෂය ලෙස හජාජාක ගොඩනැගීමට, සසප සහ එහි තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සමග එක් වන්න.”

Loading