[මෙම ලිපිය Sri Lankan president blames Iran, not the US, for global fuel crisis මැයෙන් පලවූ ලිපියේ පරිවර්තනයයි.]
ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය දිගට ම ඇදී යාමෙන් ශ්‍රී ලංකාවට සිදු ව තිබෙන බලපෑම පිලිබඳව කතා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මාර්තු 17දා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී තෝරාගත් මාධ්‍ය සඳහා “විශේෂ සාකච්ඡාවක්” පැවැත්වීය. ආර්ථික බිඳවැටීමක් ගැන ඔහු අනතුරු ඇඟ වූ නමුත්, තත්වය කලමනාකරනය කිරීමට ආන්ඩුව සෑම දෙයක් ම කරන බව පැවසී ය. ඔහු ජනතාවගෙන් කලබල නොවන්නැයි ඉල්ලා සිටි අතර සන්සුන්බව පවත්වා ගැනීමට සහාය වන ලෙස මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේ ය.
කෙසේ වෙතත්, දිසානායකගේ ප්‍රකාශ මගින් ඉරානයට එරෙහි නීති විරෝධී එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය සම්බන්ධයෙන් ඔහුගේ ආන්ඩුවේ “මධ්‍යස්ථභාවය” පිලිබඳ ව්‍යාජ මුහුනුවර නැවත වරක් හෙලිදරව් කර ඇත. “මේ යුද්ධයේ ස්වභාවය වන්නේ යුද ගැටුමේ දී සියලු පාර්ශ්ව තම තමන්ගේ සීමා සහ ඉලක්ක තෝරා ගෙන තිබෙනවා. පාලනය වෙනස් කිරීම, සමස්ත සැපයුම් ජාලය බිඳ වැට්ටවීම වැනි ඉලක්ක එහි තිබෙනවා,” ඔහු පැවසී ය.
නම් සඳහන් කිරීම ප්‍රතික්ෂේප කරමින් ම “සියලු පාර්ශව” ගැන කතා කරන දිසානායක, ආක්‍රමනිකයන් වන එක්සත් ජනපදය හා ඊශ්‍රායලය සහ වින්දිත ඉරානය සමඟ එක ම තලයක තැබීමෙන් ෆැසිස්ට්වාදී ට්‍රම්ප් පාලනයට වහන්තරාවක් සම්පාදනය කරමින් සිටී. ජාත්‍යන්තර නීතිය බරපතල ලෙස උල්ලංඝනය කරන ම්ලේච්ඡ ආක්‍රමනශීලී යුද්ධයක් දියත් කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු අධිරාජ්‍යවාදය හෙලා දැකීමට පවා ඔහුගේ ආන්ඩුව ප්‍රතික්ෂේප කර ඇත.
ඒ හුස්මෙන් ම, ජනාධිපතිවරයා තම ආන්ඩුව කාගේ පැත්තේ ද යන්න සම්පූර්නයෙන්ම පැහැදිලි කලේ ය. “හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම, තෙල් ගබඩාවලට පහර දීම, තෙල් ප්‍රවාහනය කරන නැව්වලට පහරදීම වගේම වරායවලට පහරදීම බලශක්ති වෙලෙඳපොලේ ජාත්‍යන්තර පරිමානයෙන් අර්බුදයක් නිර්මානය වෙලා තිබෙනවා” යනුවෙන් ඔහු දොස් පැවරී ය.
ඔහු මේ චෝදනා කරන්නේ කාටද? ඉරානය- ඇත්ත වශයෙන් ම, නිමක් නැති එක්සත් ජනපද සහ ඊශ්‍රායල ප්‍රහාරවලට එරෙහි ව සහ ඇමෙරිකානු කඳවුරු සඳහා පහසුකම් සපයන කලාපය පුරා රටවලට එරෙහි ව (එක්සත් ජනපද යුධ ගුවන් යානා දියත් කරනේත්, යුද නැව්වලට නැවත සැපයුම් සම්පාදනය කරන්නේත් මෙකී කඳවුරු යොදා ගෙන ය) පලිගැනීමේ ක්‍රියාවන්හි නිරත වීම හේතුවෙන් ඉරානයට චෝදනා එල්ල කෙරෙයි.
යුද්ධය තුන්වන සතියට ලඟා වෙමින් තිබිය දී, ඉරානය හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමඟ ආර්ථික කම්පන රැලි පැතිර යමින් පවතින අතර, බොර තෙල් මිල බැරලයකට ඩොලර් 100 ට වඩා ඉහල ගොස් තිබේ. ශ්‍රී ලංකාවේ, පෙට්‍රල් මිල සියයට 8 කින් පමන ඉහල දැමුනි. මෙ මගින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අන කරන ලද කප්පාදු පියවරවල බලපෑමෙන් දැනටමත් බැට කමින් සිටි වැඩ කරන ජනතාව මත ඉමහත් බරක් පටවා ඇත.
ශ්‍රී ලංකා ආන්ඩුව දැනටමත් පෙට්‍රල් සලාකනය ඇතුලු පියවරයන් වෙත යොමුවෙමින් සිටී. ඉන්ධන ඇතුලු අත්‍යවශ්‍ය භාන්ඩවල මිල අහස උසට නංවමින් ද එම භාන්ඩවල දරුනු හිඟයක් ඇති කරමින් ද ශ්‍රී ලංකාව විදේශ නය ගෙවීම පැහැර හැරි, 2022 මතකයන් මෙමගින් යලි සිහිකැඳවයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වූ සමාජ අර්බුදය මහජන නැගිටීමකට සහ ආන්ඩුවේ බිඳවැටීමකට තුඩු දුන් අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටින් පලා ගියේ ය.
ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට පෝලිම් නැවත මතු වී ඇති අතර, ඒවායේ පාලනය පවත්වා ගැනීම සඳහා පොලිසිය යොදවා ඇත. 2022 දී සිදු වූ පරිදි, ආන්ඩුව කිව්ආර් (QR) කේතය මත පදනම් වූ ඉන්ධන සලාකන ක්‍රමය නැවත හඳුන්වා දී ඇත. කොලඹ එල්පීජී ආනයනය එක්සත් ජනපදයට මාරු කර ඇත.
අත්‍යවශ්‍ය සේවාවන් හැර, ඇතැම් රාජ්‍ය සේවා සහ පාසල් සඳහා බලශක්ති භාවිතය සීමා කිරීම සඳහා ආන්ඩුව සෑම බදාදා දිනකම “රජයේ නිවාඩුවක්” ප්‍රකාශයට පත් කර ඇත. නිවසේ සිට වැඩ කිරීමේ විකල්ප ද සලකා බලමින් පවතින බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.
ශ්‍රී ලංකාවේ ස්ථාවරය සමීප ව පිලිබිඹු කරන්නේ, ඉන්දියාවේ ස්ථාවරය ම ය. කොලඹ නිල ප්‍රකාශයන් එක ම රටාවකට සිදු ව ඇත - කලාපීය ස්ථාවරත්වයට ඇති තර්ජන පිලිබඳව “ගැඹුරු කනස්සල්ල” ප්‍රකාශ කරන අතරම “උපරිම සංයමය” සහ “ආතතිය අඩු කිරීමට” ඉල්ලා සිටීම යන මේවා, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ සහ ඊශ්‍රායලයේ අපරාධකාරීත්වය වසන් කරන සූත්‍රගත කිරීම් ය.
එක්සත් ජනපද සබ්මැරීනයක් දකුනු වෙරල තීරයේ ටෝපිඩෝවකින් ගිල්වන ලද ඉරාන නෞකාවක් වන අයිරිෂ් ඩෙනාහි ඉරාන නාවිකයින් 108 දෙනෙකු පමන මරනයට පත් විය. ආධාරයට පැමිනි ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රහාරයෙන් දිවි ගලවාගෙන සිටි 32 දෙනෙකු බේරා ගත්තේ ය. 208 දෙනෙකු රැගත් අයිරිෂ් බුෂෙර් නම් දෙවැනි ඉරාන නාවික යාත්‍රාවට මුලින් ඇතුලුවීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු කාර්ය මන්ඩල සාමාජිකයින්ට කොලඹට නැව් තටාකයට යාමට අවසර ලබා දුනි.
ඇමරිකානු නාවික හමුදාව විසින් අයිරිෂ් ඩෙනා ජාත්‍යන්තර මුහුදේ ගිල්වීම ආන්ඩුවේ හෙලාදැකීමට බඳුන් වූයේ නැත. එපමනක් නොව, බලධාරීන් සහ ආන්ඩුවට පක්ෂපාතී මාධ්‍ය මෙම ගලවා ගැනීම මානුෂීය ක්‍රියාවක් ලෙස නිරූපනය කල ද, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු කේබල් පනිවිඩයක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය නිකුත් කල වාර්තාවක දැක්වෙන්නේ, කාර්ය මන්ඩල සාමාජිකයින්ට ඉරානයට ආපසු යාමට ඉඩ නොදෙන ලෙස වොෂින්ටනයේ ඉල්ලීම්වලට ශ්‍රී ලංකා රජය එකඟ වී ඇති බවයි.
ඒ සමඟම, “මධ්‍යස්ථභාවය” පිලිබඳ කුහක මවා පෑම ආන්ඩුව දිගට ම කර ගෙන යයි. මාර්තු 11දා, ඉරානය තම කලාපීය අසල්වැසියන්ට එල්ල කරන “දරුනු ප්‍රහාර” හෙලා දකින එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලයේ යෝජනාවකට සම අනුග්‍රහය දැක් වූ එක්සත් ජාතීන්ගේ සාමාජිකයින් 130 දෙනෙකු සමඟ එක්වීම එය ප්‍රතික්ෂේප කලේ ය. එය එසේ කලේ, යෝජනාව එලිපිට ම එක්සත් ජනපද-ගැති ස්වභාවයක් ගත් බැවිනි.
බහරේන් නායකත්වයෙන් යුත් යෝජනාවේ සම-අනුග්‍රාහකයින් අතර ඉන්දියාව සහ එක්සත් ජනපදය ද සිටි අතර, එක්සත් ජනපද හමුදා කඳවුරු පිහිටා ඇති ගල්ෆ් රාජ්‍යයන්ට එරෙහි ව ඉරානය එල්ල කරන ප්‍රහාර “ශක්තිමත්ම වචනවලින්” හෙලා දකින අතර, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහි ව අනවරත ව දියත් කරන ලද බෝම්බ සහ මිසයිල ප්‍රහාර ගැන සඳහන් කිරීමට පවා යෝජනාව අපොහොසත් විය.
සඳුදා පැවති මාධ්‍ය හමුවේ දී, රජයට අයත් අයිටීඑන් රූපවාහිනියේ මාධ්‍යවේදියෙකු දිසානායකට පැහැදිලි ව ම කලින් සූදානම් කල ප්‍රශ්නයක් ඉදිරිපත් කලේ ය: වත්මන් තත්ත්වය තුල රජයට තම “නොබැඳි ප්‍රතිපත්තිය” පවත්වා ගත හැකි ද?
ප්‍රශ්නයෙන් ප්‍රමුදිත වූ දිසානායක මෙසේ කීවේ ය: “මම හිතන්නේ ඒක තමයි අපි පවත්වා ගත යුතු ස්ථාවරය… රටක් විදියට අපි මෙම මධ්‍යස්ථභාවය පවත්වා ගෙන යනවා.”
නීති විරෝධී ආක්‍රමනශීලී යුද්ධයකට දෙන සහාය වසන් කිරීම සඳහා “මධ්‍යස්ථභාවය” පිලිබඳ දෙපිටකාට්ටු වචන- කොලඹ දේශපාලන සංස්ථාපිතය තුල එවැනි දේශපාලන දෙබිඩිභාවයක් ඇත්ත වශයෙන් ම අසාමාන්‍ය දෙයක් නොවේ. නමුත් 2024 දී ප්‍රථම වරට බලයට පත් වූ විට ජනතා විමුක්ති පෙරමුන (ජේවීපී) නායකත්වයෙන් යුත් ආන්ඩුව ජාත්‍යන්තර මාධ්‍ය තුල “වාමාංශික” සහ “මාක්ස්වාදී” ලෙස හඳුන්වනු ලැබූ බව සිහිපත් කල යුතු ය.
දිසානායක ප්‍රමුඛ සාමාජිකයෙකු වන ජේවීපීයට, මාඕවාදය, කැස්ත්‍රෝවාදය සහ “සන්නද්ධ අරගලය” යනාදි සාරසංග්‍රවාදී අච්චාරුවක පදනම මත තම ආරම්භය දක්වා දිවෙන, සමාජවාදී සහ අධිරාජ්‍ය-විරෝධී වාචාල දෙඩවීම්වල දීර්ඝකාලීන දේශපාලන පැටිකිරියක් තිබේ. ආන්ඩු බලය සඳහා පොරයේදී ඒ සියල්ල දශක ගනනාවක් තිස්සේ ක්‍රමයෙන් කුනු කූඩයට දැමුනි.
විශේෂයෙන් 2022 මහජන නැගිටීමෙන් පසු, ජවිපෙ නායකයෝ, අධිරාජ්‍යවාදී බලවතුන් සමඟ, විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදය සමඟ සමීප සබඳතා වර්ධනය කර ගත්හ. දේශපාලන කැලඹීම් මධ්‍යයේ 2022 මැයි මාසයේ දී දිසානායක හමුවීමෙන් පසු, කොලඹ ඇමරිකානු තානාපතිනි ජූලි චංග්, “ජනතාව සමඟ අනුනාද වන” පක්ෂයක් ලෙස ජවිපෙ ගැන ප්‍රසිද්ධියේ ධනාත්මක වචන වලින් කතා කලා ය.
දැන් බලය අත්කරගෙන සිටින දිසානායක ආන්ඩුව, ගොරතර අයිඑම්එෆ් කප්පාදු පිලිවෙත් භක්තිමත් ව මුලුමනින් ම ක්‍රියාත්මක කරමින් සිටී. එමෙන් ම, ආන්ඩුව, චීනයට එරෙහි ව යුද්ධය සඳහා සූදානමේ දී මැද පෙරදිග සහ ලතින් ඇමරිකාවේ නිරුවත් ආක්‍රමනශීලී ක්‍රියා සිදු කරන ඇමරිකානු අධිරාජ්‍යවාදය සමඟ මිලිටරි සබඳතා ගැඹුරු කරමින් සිටී.
ලෝකය ගෝලීය ගින්නකට ඇද දමමින් සිටින ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් මෙහෙයවනු ලබන යුද ධාවනයට එරෙහි ව, ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර ව කම්කරු පන්තිය සමාජවාදී මූලධර්ම මත පදනම් වූ ඒකාබද්ධ යුද විරෝධී ව්‍යාපාරයක් තහවුරු කිරීම හදිසි අවශ්‍යතාවකි. ශ්‍රී ලංකාවේ එයට එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමඟ වක්‍රව පෙල ගැසෙන සහ ඉරාන යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස කම්කරුවන් සහ ගම්බද ජනයා මත අලුතින් බර පටවන දිසානායක ආන්ඩුවේ ව්‍යාජ 'මධ්‍යස්ථ' මවාපෑමට එරෙහිව රටතුල දේශපාලන අරගලයක් මෙයට ඇතුලත් වේ.
වැඩිදුර කියවන්න
- ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය නැවැත්වීම වෙනුවෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවිය පැවැත් වූ හදිසි වෙබිනාර් රැස්වීම සමාජවාදී මූලෝපාය පැහැදිලි කරයි
- ඉරාන නාවිකයින් බේරා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ “මානුෂීය” මවාපෑම් එක්සත් ජනපද සංදේශයෙන් හෙලිදරව් කෙරේ
- ඉන්දියානු සාගරයේ දී ඉරාන නෞකාවක් ගිල්වා දැමීම හෙලා දකිනු! ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධයට විරුද්ධ වනු!
