රට පුරා සංවර්ධන නිලධාරීහු දහස් ගනනින් විරෝධතා දක්වති

[මෙය Thousands of development officers protest across Sri Lanka යන මැයෙන් 2026 සැප්තැම්බර් 03 දින ඉංග්‍රීසි බසින් පල විය.]

2026 අගෝස්තු 31 වන දින, හලාවත දී විරෝධතාවක නිරත වන සංවර්ධන නිලධාරීන් පිරිසක්

දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රමාද වූ වැටුප් වැඩි වීම් සහ අනෙකුත් දුක්ගැනවිලි සම්බන්ධයෙන්, අගෝස්තු 31 වන දින, ශ්‍රී ලංකාව පුරා සංවර්ධන නිලධාරීහු දහස් ගනනක් දිවා ආහාර පැයේ විරෝධතාවයකට සහභාගී වූහ. ඔවුන්ගේ ගැටලු ආමන්ත්‍රනය කිරීම සඳහා කෙටුම්පත් කරන බව ආන්ඩුව පුන පුනා කියන කැබිනට් පත්‍රිකාව වහා නිකුත් කරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.

සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානය (DOTUA) විරෝධතා කැඳවා ඇත්තේ, සංවර්ධන නිලධාරීන් අතර වැඩෙන කෝපය පාලනය කිරීමේ උත්සාහයක් ලෙසට ය; රජයේ පාසල් ඇතුලු විවිධ රාජ්‍ය ආයතනවල සේවය කරන සංවර්ධන නිලධාරීහු ආසන්න වශයෙන් 150,000 ක් පමන සිටිති. පසුගිය දශක තුන තුල රැකියා විරහිත උපාධිධාරීන් අතරින් බඳවා ගෙන ඇති මොවුන්, විධිමත් උසස්වීම් පටිපාටියක් හෝ පැහැදිලි ව අර්ථ දක්වා ඇති රාජකාරියක් නොමැති ව, අඩු වැටුප් සහිත තනතුරුවල සිර කර ඇත.

2026 මාර්තු මාසයේ දී ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) විසින් නායකත්වය දෙන වෘත්තීය සමිති 11 ක එකතුවක් ලෙස පිහිටුවා ඇති DOTUA, ජනතා විමුක්ති පෙරමුනු/ජාතික ජන බලවේග (ජවිපෙ/ජාජබ) ආන්ඩුව විසින් පනවනු ලබන කුරිරු කප්පාදු පියවරයන්ට එරෙහි ව මතු වීමට ඉඩ ඇති පුලුල් අරගලයක් වැලැක්වීමට උත්සාහ කරයි.‍

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවෝ, පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත පලාත් ලේකම් කාර්යාලය අසල විරෝධතාවයේ නිරත 70 දෙනෙකුගෙන් පමන සමන්විත කම්කරුවන් පිරිසකට කතා කලහ. බොහෝ දෙනෙක් ආන්ඩුව තම ඉල්ලීම් නොසලකා හැරීම සම්බන්ධයෙන් කෝපය පල කලහ.

තම මූලික වැටුප රුපියල් 54,000ක් වන අතර මුලු මාසික ආදායම රුපියල් 68,000 ක් පමන වන බව, හලාවත ආර්ථික සංවර්ධන නිලධාරියෙකු වන අසංග ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසී ය. නිවාස 380ක් ආවරනය කිරීමට පැවරී ඇති ඔහුට ලැබෙන්නේ රුපියල් 300ක මාසික ප්‍රවාහන දීමනාවක් පමනක් වන අතර එය ඉන්ධන ලීටරයකටවත් ප්‍රමානවත් නොවේ. “සමහර විට මම මගේ මොටර්සයිකලයට ඉන්ධන මිල දී ගැනීමට මුදල් නයට ගන්නවා,” ඔහු පැවසීය. “මට කුඩා දරුවෙක් ඉන්නවා. මගේ බිරිඳ රැකියාවක් කරන්නේ නැහැ. ජීවත් වෙන්න අමාරුයි.”

ජවිපෙ/ජාජබ බලයට පැමිනීමට පෙර, ජීවන වියදම මත පදනම් ව, සෑම මාස හයකට වරක් ම රාජ්‍ය අංශයේ වැටුප් වැඩිවීම් සිදු කිරීමට පොරොන්දු වූ බව ඔහු සිහිපත් කලේ ය. 2027 අයවැයේ වැටුප් වැඩිවීම රුපියල් 2,000 ක් පමන වනු ඇති අතර එය ඉහල යන උද්ධමනය සමග කිසි සේත් නොගැලපේ.

“ආන්ඩුව දුන් පොරොන්දු කිසිවක් ඉටු කලේ නැහැ,” අසංග පැවසීය. “අපේ නිලධාරීන් බොහෝ දෙනෙක් මේ ආන්ඩුවට ඡන්දය දුන්නා. සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ලේකම් චන්දන සූරියාරච්චි දැන් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්; ඒත් අපේ ගැටලු ගැන සොයා බලන්නේ නැහැ.'

2012 සිට සේවයේ නියුතු ආර්ථික සංවර්ධන නිලධාරිනියක්, රුපියල් 20,000 ක පමන වැටුපක් ලැබීමට පෙර, රුපියල් 10,000 ක දීමනාවක් මත වසරක් සේවය කල බව පවසා සිටියා ය. දැන් ඇයට රුපියල් 68,000 ක වැටුපක් ලැබේ. “මගේ සැමියා අසනීපයෙන් සිටින නිසා වැඩ කරන්න බැහැ. මගේ ඉඩමේ පොල් විකිනීමෙන් මම යම් මුදලක් උපයා ගන්නවා; ඒවා අපේ පුතාගේ අධ්‍යාපනය සඳහා යොදා ගන්නවා. වෙනත් අමතර ආදායමක් නැහැ,” ඇය පැවසුවා ය.

2026 අගෝස්තු 31 වන දින හලාවත දී විරෝධතාවක නිරත වන සංවර්ධන නිලධාරීන් පිරිසක්

ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, ආහාර උද්ධමනය ජූලි මාසයේ දී පැවති සියයට 6.3 සිට, වසර තුනක් තුල ඉහල ම අගය වන සියයට 8.5 දක්වා ඉහල යාමත් සමඟ, කොලඹ උද්ධමනය, ජූලි මාසයේ දී පැවති සියයට 7.3 සිට—එය 2023 ජුනි මාසයෙන් පසු ඉහල ම අගයයි—2026 අගෝස්තු මාසයේ දී සියයට 8.0 දක්වා ඉහල ගියේ ය.

ජුනි මාසයේ රුපියල් 17,592 ක් වූ නිල දරිද්‍රතා රේඛාව ද අගෝස්තු මාසයේ දී රුපියල් 17,679 දක්වා ඉහල ගියේ ය.

2027 අයවැයෙන්, ශ්‍රී ලංකාව දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.3ක ප්‍රාථමික අතිරික්තයක් පවත්වා ගත යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයිඑම්එෆ් ) නියෝග කර ඇති අතර, ප්‍රාථමික රාජ්‍ය වියදම් සියයට 13කට සීමා කර ඇත. වක්‍ර බදු පුලුල් කිරීම, ඉන්ධන සහ විදුලි සහනාධාර ඉවත් කිරීම, තීරු බදු වැඩි කිරීම සහ රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම සහ පුද්ගලීකරනය මෙම කප්පාදු පියවර අතරට ඇතුලත් වේ. ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධයෙන් තීව්‍ර වූ ගෝලීය තෙල් මිල සහ ආනයන පිරිවැය ඉහල යාම, වැඩ කරන ජනතාව මත තව තවත් බර පටවා ඇත.

කොන්දේසි මෙසේ වී තිබිය දී ත්, ජවිපෙ/ජාජබ ආන්ඩුව සංවර්ධන නිලධාරීන්ගේ ඉල්ලීම් නැවත නැවතත් ප්‍රතික්ෂේප කර ඇත. මාර්තු මාසයේ දී කෙටුම්පත් සේවා ප්‍රඥප්තිය කැබිනට් මන්ඩලයට ඉදිරිපත් කල බව ආන්ඩුව ප්‍රකාශ කල ද, 2024 දෙසැම්බර් මාසයේ සිට කිසිදු සාකච්ඡාවක් සිදු වී නොමැති බවත්, බොහෝ ඉල්ලීම් සඳහා තවමත් පිලිතුරු නොමැති බවත්‍ පෙසප සම ලේකම් සහ DOTUA නායක ධම්මික මුනසිංහ ප්‍රකාශ කලේ ය. සති දෙකක් ඇතුලත කම්කරුවන්ගේ ඉල්ලීම් විසඳීමට ආන්ඩුව අපොහොසත් වුවහොත්, වෘත්තීය සමිති සන්ධානය සිය විරෝධතා උත්සන්න කරන බවට ඔහු අනතුරු ඇඟවීය.

එක්සත් හා ස්වාධීන කම්කරු පන්ති ක්‍රියාමාර්ගයකට වෘත්තීය සමිති යාන්ත්‍රනය සතුරු ය. ඉල්ලීම් දිනා ගත හැක්කේ ආන්ඩුවට ආයාචනා කිරීමෙන් පමනක් බවට ඔවුහු මිත්‍යාවන් ප්‍රවර්ධනය කරති.

DOTUA ප්‍රචාරක ලේකම් ඉන්දික, හලාවත විරෝධතාවයේ දී කම්කරුවන්ට මෙසේ පැවසී ය: “ජවිපෙ/ජාජබ ආන්ඩුව බලයට පත් වී වසර දෙකක් ගත වී ඇතත්, එය මැතිවරනයට පෙර දුන් පොරොන්දු කඩ කරලයි තියෙන්නෙ.”

බැරෑරුම් ලෙස ගත් කල, එ වැනි ප්‍රකාශයක් යොමු වන්නේ එක් නිගමනයක් කරා පමනි: කම්කරුවන් මෙම දක්ෂිනාංශික, ධනේශ්වර ආන්ඩුවෙන් බිඳී, එයට එරෙහි ව ඔවුන්ගේ අරගලය මෙහෙයවිය යුතු ය. නමුත් ඉන්දික වහා ම එලඹියේ ඊට ප්‍රතිවිරුද්ධ නිගමනයටයි: මෙම උද්ඝෝෂනය “ආන්ඩුවට එරෙහි ක්‍රියාමාර්ගයක් නොවේ”; එය හුදෙක් “යම් සාධාරනයක්” සඳහා කරන ආයාචනයක් පමනි.

මේ අනුව, වෘත්තීය සමිති නායකත්වය, කම්කරුවන්ගේ කෝපය, බලයේ සිටින අයට කරන අහිංසක ආයාචනා දෙසට හරවා යවයි. පෙසප, ජවිපෙ/ජාජබ සඳහා මුක්කුවක් ලෙස ද සේවය කරයි: ඔවුන්, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ තේරී පත්වීම “ජනතා අපේක්ෂාවන් ඉටු වීමක ප්‍රකාශනයක්” ලෙස ප්‍රශංසා කල අතර එම ආන්ඩුව “ආරක්ෂා කිරීමට” ඉදිරිපත් විය.

ආන්ඩුව, සංවර්ධන නිලධාරීන්ගේ ඉල්ලීම්වලට විසඳුම් සෙවීම ප්‍රතික්ෂේප කිරීම, අයිඑම්එෆ්  විසින් නියම කරන කප්පාදු න්‍යාය පත්‍රයට එහි කැපවීම සමඟ සෘජු ව ම බැඳී ඇති බව වෘත්තීය සමිති වසන් කරයි. DOTUA සහ අනෙකුත් රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති මෙම වැඩපිලිවලට එරෙහි ව සැබෑ අරගලයක් දියත් කිරීමෙන් රාජ්‍ය අංශ සේවකයින් වලක්වා ඇත.

එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ශ්‍රී ලංකාවෙන් පලා යාමට බල කෙරුනු 2022 මහජන නැගිටීම අපසරනය කිරීමේ දී වෘත්තීය සමිති සහ පෙසප ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර තිබේ. ජවිපෙ සහ සමස්ත දේශපාලන සංස්ථාපිතය සමඟ එක් ව, වෘත්තීය සමිති ව්‍යාපාරය තලා දමා අධිරාජ්‍ය ගැති රනිල් වික්‍රමසිංහ බලයට ගෙන ඒමට එය වගබලා ගත්තේ ය.

වික්‍රමසිංහගේ අඛන්ඩ කප්පාදු පියවරයන්ට එරෙහි ඕනෑ ම අරගලයක් අවහිර කිරීමෙන් පසු, වෘත්තීය සමිති, 2024 දී ජවිපෙ/ජාජබ ආන්ඩුව බලයට පත්වීමට මග පෑදී ය. අයිඑම්එෆ්  කප්පාදු ඉල්ලීම් නැවත සාකච්ඡා කිරීමටත්, කම්කරුවන්ගේ සහ දුප්පතුන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීමටත් ජවිපෙ/ජාජබ දුන් මැතිවරන පොරොන්දුවල වංචාකාරී බව හෙලිදරව් වී තිබේ.

සංවර්ධන නිලධාරීන්ගේ විරෝධතා, වැඩෙන කම්කරු පන්ති අරගල රැල්ලක කොටසකි. බදාදා (02), රට පුරා විශ්ව විද්‍යාල ගුරුවරුන් දහස් ගනනක් වැටුප් වැඩි කිරීම සහ පහසුකම් වැඩිදියුනු කිරීම ඉල්ලා විරෝධතා පැවැත්වූහ. සෙවනගල සීනි කම්හලේ සේවකයින් 1,000 කට වැඩි පිරිසක්, වැටුප් වැඩිවීම් ඉල්ලා, අගෝස්තු 25 සිට අඛන්ඩ වැඩ වර්ජනයක නිරත ව සිටිති.

මෙම අරගල හුදකලා වීම සහ පාවා දීම වැලැක්වීමටත්, ඒවා පුලුල් කිරීමට සහ එක්සත් කිරීමටත්, කම්කරුවන්, වෘත්තීය සමිති නිලධරයට සහ සියලු ධනේශ්වර පක්ෂවලට එරෙහි ව ස්වාධීන ව සංවිධානය විය යුතුය. කම්කරුවන් සෑම වැඩබිමක ම, වතුකරයේ සහ කම්කරු පන්ති අසල්වැසි ප්‍රදේශවල ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරා පත් කර ගත් ක්‍රියාකාරී කමිටු පිහිටු විය යුතු ය. මෙම කමිටු, වාර්ගික හා ආගමික රේඛා කපා ගෙන, අයිඑම්එෆ් සහ ජවිපෙ/ජාජබ ආන්ඩුවට එරෙහි ව සියලුම කර්මාන්තවල කම්කරුවන් සහ ගොවීන් එක්සත් කිරීමට සටන් කල යුතු ය.

ශ්‍රී ලංකාවේ කම්කරුවන් ද, ජාත්‍යන්තර ව කම්කරුවන් මුහුන දෙන රැකියා, වැටුප් සහ සමාජ සේවා මත එල්ල වන ගෝලීය ප්‍රහාරයට ම මුහුන දෙයි. යුද්ධය, කප්පාදු සහ ආඥාදායකත්වයට එරෙහි ව බලගතු ජාත්‍යන්තර අරගලයක් ගොඩනැගීම සඳහා මෙම කම්කරු ක්‍රියාකාරී කමිටු, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (කක්‍රික-ජාස) සමඟ සම්බන්ධීකරනය කල යුතු ය. 

Loading